Friday, August 12, 2016

හිතේ ඇත නුඹ තවම





සින්තටික් හීන ලෝක වල
මේකප් තැවරු මුහුණු වල
ආර්ටිෆිෂල් නියපොතු වල
ආලේපිත වර්ණ වල
ස්ට්‍රේට් කෙස් කළඹ වල
පොෂ් පහේ ඇඹරෙන වදන් වල  
නොදුටු ලස්සන
රැලි කෙහෙ රැලි තුල
තලෙළු නුඹේ සම තුල
නිදහසේ එන හඬ තුල
සෘජු සුමට වදන් තුල
දුටිමි මම
දුවන මගේ සිත සසල
සිරව ඇති හිතුවිලි අතර
හිර වෙලා තවම මම
නොකීවත් නුඹට මම
හිතේ ඇත නුඹ තවම

Monday, August 1, 2016

මගෙ අලුත් ආදරෙ


සිහින් දිගැටි නුඹේ සිරුර මත
මගෙ දෑගිලි සෙමින් යවමින්
දෙතොල් නුඹගෙ මුවට ලන්කොට
සෙමින් මුදුවට හුස්ම රැල්ලක් මුසු කලා
මම නුඹෙ හදටම
නුඹෙ සිරුරම කලඹවාගෙන
සුසර වු ස්වර හඩ නැගෙන විට
මගෙ වෙහෙසත් දුක් හැගුම් හැම
මටත් නොදැනිම යයි තුරන් වී
ආදරෙයි මගෙ බටනලාවිට හැමදාම මම



Monday, June 20, 2016

මල්සරා



මල්සරා උඹ නම් මාරයි
මල් හීයෙන්
උඹ විදිනව කිව්වෙ 
ඒත් උඹ මට විද්දෙ
උලට උල් ඊතලයෙ
නේක විස තවරලා
හදවතත් දෙබෑ කරගෙන
ගියපු ඊතලයෙ
විස ලෙයට එක් වෙලා
මියදුනෙ ඒ විසට
හදවතත් කුනු වෙලා

Monday, May 23, 2016

ඔහු........

හවසට හවසට ඇද හැලෙන වරුසාව දැන් ටිකදවවසක ඉදන් උදේ ඉදන්ම ඇදහැලෙන්න පටන් අරං ඒත් වරුසාව මැද්දෙන්ම අදත් ඔහු ඔෆීසියට ආ හැටි සිහි කරමින්ම හවස් යාමයේ ඔෆිසියෙන් නික්මෙන්ට ඔහු සැරසුණි. පහුගිය දින කිහිපයම පමාවූ සේම අදත් වැඩ බහුල වුවත් නිම කිරීමට තිබු වැඩ නිමවා ගත් සති අන්තයක් වීම ඔහුගේ සිතට ගැන දුන්නේ අස්වැසිල්ලකි. ඔෆීසියෙන් නික්මෙන විටම රාත්‍රී 7 පමණ වී තිබුණි. වැහි පොදයක් දෙකක් ඉඳහිට වැටුනි. වෙනදා තරම්ම තදබදයක් නොවූ මාවත දිගේ ඇවිද ගිය ඔහුට මුසල පාලුවකට වඩා නිසල හුදකලාවක් දැනුනි.
රටකජු මුලක් මිලිදී ගෙන බසයට වෙනදා මෙන්ම පුරුද්දට මෙන් ආයාසයකින් තොරව ගොඩ වුනු ඔහු ජනේලයක් අසල අසුන්ගත්තේය. ශේෂව බස්රියෙහි ජනේලයෙහි රැඳී වැහි බිංදු හරහා පැමිණි කඩවිදී ලාම්පු එලි අමුතු රටා මවන්නට විය. හිත මතකයන් අතර ඔබ මොබ දුවන්නට විය. කොපමණ වෙලාවක් මතකයන් අතර සිත දුවන්නට උනිද ඔහුවත් නොදනී
“පුංචි සින්දුවක් දෙකක් එහෙනම් ගායනා කරන්නම් ගමන් කරන මේ සියලුම දෙනාගේ රසවින්දනයට” ඒ බසයෙහි ගී ගයන කෙනෙකි ඔහුගේ හඬට සිත අවදි වන විට බස් රථය ගමන් අරඹා තිබිණි. නැවතත් මතකය අතීතයට දිව යයි, ඇය සමඟ ගිය දුම්රිය ගමනේදී හමු වූ සින්දු කියන අයියා සිහි විය.ඔහුගේ ගායනාවන් ඉතා මිහිරිය ඊටත් වඩා ඇය ඔහු සමීපයට ගුලි වුනු ඒ මතකයන් සුමිහිරිය.
කොන්දොස්තරගේ තට්ටුවත් සමඟ නැවත පියවි සිහි එල්බ ගත් ඔහු ටිකට් පතක් මිලදී ගන්නා අතර ගීත ගයන්නාගේ හඬ ඇසුනි. “කාටත් වරදින එකම වෙලාවක අග හිඟ කම ආදරයට පැරදී”.. නැවත සිත මතකයන් අතර දුවන්නට විය. ඒ සුන්දර මතක තිබුනේ ටික කාලයක් පමණි. ලොව දන්නා සේ ඔවුන් මිතුරන්ම පමණක් විය නමුත් ඔවුන් ඔවුනට ආදරවන්තයන් විය.

ඇගේ සහකරු ඇගේ භාරකරුවන් සොයා දුන්නේය. ඇය වෙනකෙකුට බාර දුන් දිනයේ මිතුරෙකු සේ සුබ පතා ආ සැටි ඔහුට සිහි වුනේ සියුම් වේදනාවක් සමගය බැඳීම් නම් දුකකි ඒ සමගම ඔහුගේ මෙල්ල නොවූ සිත හදාගන්නට සිහිය ඉදිරිපත් විය.
“රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජිවත් වෙන්නකෝ”... බස් රථයේ කැසට් හඬය..
බැඳීම් මාරයි.. ඒ මතකයන්ද මාරයි.. ඔහුටම කියාගත් ඔහු අසුනෙන් නැගිට්ටේ ඊළඟ නැවතුමෙන් බැස යා යුතු නිසාය. බස්රිය ආරණ්‍ය සෙනසුන අසල නතර කෙරිණි. බසයෙන් බැසගත් ඔහු ඒ දෙසට නික්ම ගියේය.
ඔහුගේ ඔෆිසියේ වැඩ අවසන්ය.. නිසල හුදකලාව බලා සිටින්නේය.. අකීකරු සිත එහෙමෙහෙ දුවන්නේය.. එහෙත් සිහිය ඔහු නිවැරදි මඟ ගෙනයනුඇත..

Sunday, September 6, 2015

මතකයන්


වෙලාවකට හිතෙනවා ජිවිතේ මිනිස්සුන්ට ලැබුණු හොඳම තෑග්ග අමතක වීම කියලා.අමතක වෙන එක විභාගයකදී සහ සාමාන්‍ය ජීවිතයේදී ගැටළුවක් විදිහට පෙනුනත් අමතක වීම නොතිබෙන්නට සමහර සිදුවීම් නිසා ඇති වුනු වේදනාවලින් අපි සදා කාලිකවම දුක් විදින්න ඉඩ තිබුණා.
ඉතින් මතකයන් ජිවිතේ පුරාම රැඳිලා තියනවා වෙලාවකට හිතෙනවා මතකයන් වලින් තමයි ජිවිතේ පිරුණේ කියලා.ළමා කාලයේ සුන්දර මතකයන්, පාසල් දිවියේ මතකයන්, සරසවියේ මතකයන් තරුණ කාලේ මතකයන් රැකියාවේ මතකයන් සැඳා සමයේ මතකයන් මේ විදිහට ගතහම නම් මුළු ජීවිතේම පිරිලා තියෙන්නේ මතකයන් වලින්.
මතකයන් තියෙන්නේ පුද්ගලිකව විතරක් නෙමේ සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් යුධමය වශයෙන් සංස්කෘතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් ආදී නොක්යෙකුත් විදිහට මතකයන්ගෙන් පිරිලා.
සමහර මතකයන් සිනහවක් එක්ක මතකයට එනකොට සමහර මතකයන් එන්නේ කඳුලක් ඇහැට උරුම කරගෙනම.සමහර මතකයන් මතක් කරන්න බැරි තරම් අඳුරු වෙනකොට සමහර මතකයන් ඉර හඳටත් වඩා ආලෝකමත් සුවඳ පිරුණු මතක අතර ගඳ ගහන මතකයනුත් නැතුවාම නෙමේ.ඔය හැම මතකයක්ම අඩු වැඩි වශයෙන් අපේ ජිවිත වල රැඳිලා තියනවා.ඒ මතකයන් වල අඩුවැඩි භාවයේ ස්වභාවය අනුව එක් එක් පුද්ගලයන්ගේ සිත් තුල අපේ මතකයනුත් නොමැකි ඉතුරු වෙනවා.
සමහර මතකයන් කාලෙකට පස්සේ මතක් කරලා ඒ මතකයට සම්බන්ද කෙනා එක්කම බෙදා හදා ගත්තම දැනෙන්නෙත් අමුතුම හැඟීමක් ඒ හැඟීමක් මතකයක් විදිහටම ඉතුරු වෙලා යනවා. මතකයන් අතරින් අපි ගෙවන ජීවිතය නිමා කරලා යන්නෙත් අනුන්ගේ හිත්වල අපි ගැන මතකයක් ඉතුරු කරලා.
හ්ම්ම් බලාගෙන යනකොට ගෙවුණු හැම තප්පරයක්ම මතකයනට ඉතුරු වෙනවා ඒත් අපි ඒවාට ලබා දෙන වටිනාකම අනුව සමහර මතක නොමැකි ඉතුරු වෙද්දී සමහර මතක මැකී යනවා.
ආදරණිය මතක අතර පළමු ආදරයේ මතක නම් කාටත් අමතක නැතුව ඇති.ජිවිතයේ මොනවගේ මතක තිබුනත් හොඳට මතක තියාගන්න ගෙවෙන මේ තප්පරයේ ඉදන් එකතු වෙන මතකයන් වලට වටිනාකමක් දෙන්න.
මතකයන් අතර සැරිසරන අතරේ හිතුනු දේ සටහන් කලෙමි.කැමතිනම් අගයක් ලබාදී මතකේ රඳවාගන්න..

සිනහව ගෙනෙනට හැකි
නෙතු අග කඳුලින් තෙමන්නට හැකි
ආදරය මවන්නට හැකි
විරහවෙන් තවන්නට හැකි
දිවි අඳුරු කරන්නට හැකි
අඳුරු දිවි එලි කරන්නට හැකි
සුන්දර අසුන්දර
මතකයන් එකතු කර
අවසන
මතකයක්ම පමණක් ඉතුරු කර යන
මතකය  

සාමලා අමරලා එක්විය
පාසල් මතකයට
ගුටි කෑ පාරවල් මැකුනි
ගුටියේ හේතුව නොමැකෙන මතකයකි
චේ මාර්කස් මාලි
සරසවි මතකයේය
අමතකවූ සමාජවාද
මතක් වන්නට කුප්පි දැමිය යුතුය
නුඹේ මතකය නැත අමතක
ඒත් නුඹ සිටියි අමතක වුනා වගේ
නුඹත් මතකයක් පමණි  
මතකයක් වී සමුගන්න
මතකයන් පමණි අප