Thursday, September 15, 2016

ලියවෙච්ච මගේ කවිය




සුන්වෙච්ච හදවතින් 
ලියවෙච්ච කවි අතර 
හැංගිච්ච පද හතරේ 
ලන්වෙච්ච එක කවිය 

හිමිවෙච්ච අහිමිබව 
ලියවෙච්ච ඉරණමට 
නැතිවෙච්ච පද හතරේ 
මැලවෙච්ච මගේ කවිය 

කලුවෙච්ච මේඝ වල 
ඇතිවෙච්ච රිදී ඉර 
හැංගිච්ච ඉක්මනින් 
නැතිවෙච්ච එක කවිය 


හමුවෙච්ච ප්‍රමාදය
හිමිවෙච්ච නැති කරුණ  
සවිවෙච්ච හදවතට 
වැටහිච්ච නැති කවිය 

Friday, August 12, 2016

හිතේ ඇත නුඹ තවම





සින්තටික් හීන ලෝක වල
මේකප් තැවරු මුහුණු වල
ආර්ටිෆිෂල් නියපොතු වල
ආලේපිත වර්ණ වල
ස්ට්‍රේට් කෙස් කළඹ වල
පොෂ් පහේ ඇඹරෙන වදන් වල  
නොදුටු ලස්සන
රැලි කෙහෙ රැලි තුල
තලෙළු නුඹේ සම තුල
නිදහසේ එන හඬ තුල
සෘජු සුමට වදන් තුල
දුටිමි මම
දුවන මගේ සිත සසල
සිරව ඇති හිතුවිලි අතර
හිර වෙලා තවම මම
නොකීවත් නුඹට මම
හිතේ ඇත නුඹ තවම

Monday, August 1, 2016

මගෙ අලුත් ආදරෙ


සිහින් දිගැටි නුඹේ සිරුර මත
මගෙ දෑගිලි සෙමින් යවමින්
දෙතොල් නුඹගෙ මුවට ලන්කොට
සෙමින් මුදුවට හුස්ම රැල්ලක් මුසු කලා
මම නුඹෙ හදටම
නුඹෙ සිරුරම කලඹවාගෙන
සුසර වු ස්වර හඩ නැගෙන විට
මගෙ වෙහෙසත් දුක් හැගුම් හැම
මටත් නොදැනිම යයි තුරන් වී
ආදරෙයි මගෙ බටනලාවිට හැමදාම මම



Monday, June 20, 2016

මල්සරා



මල්සරා උඹ නම් මාරයි
මල් හීයෙන්
උඹ විදිනව කිව්වෙ 
ඒත් උඹ මට විද්දෙ
උලට උල් ඊතලයෙ
නේක විස තවරලා
හදවතත් දෙබෑ කරගෙන
ගියපු ඊතලයෙ
විස ලෙයට එක් වෙලා
මියදුනෙ ඒ විසට
හදවතත් කුනු වෙලා

Monday, May 23, 2016

ඔහු........

හවසට හවසට ඇද හැලෙන වරුසාව දැන් ටිකදවවසක ඉදන් උදේ ඉදන්ම ඇදහැලෙන්න පටන් අරං ඒත් වරුසාව මැද්දෙන්ම අදත් ඔහු ඔෆීසියට ආ හැටි සිහි කරමින්ම හවස් යාමයේ ඔෆිසියෙන් නික්මෙන්ට ඔහු සැරසුණි. පහුගිය දින කිහිපයම පමාවූ සේම අදත් වැඩ බහුල වුවත් නිම කිරීමට තිබු වැඩ නිමවා ගත් සති අන්තයක් වීම ඔහුගේ සිතට ගැන දුන්නේ අස්වැසිල්ලකි. ඔෆීසියෙන් නික්මෙන විටම රාත්‍රී 7 පමණ වී තිබුණි. වැහි පොදයක් දෙකක් ඉඳහිට වැටුනි. වෙනදා තරම්ම තදබදයක් නොවූ මාවත දිගේ ඇවිද ගිය ඔහුට මුසල පාලුවකට වඩා නිසල හුදකලාවක් දැනුනි.
රටකජු මුලක් මිලිදී ගෙන බසයට වෙනදා මෙන්ම පුරුද්දට මෙන් ආයාසයකින් තොරව ගොඩ වුනු ඔහු ජනේලයක් අසල අසුන්ගත්තේය. ශේෂව බස්රියෙහි ජනේලයෙහි රැඳී වැහි බිංදු හරහා පැමිණි කඩවිදී ලාම්පු එලි අමුතු රටා මවන්නට විය. හිත මතකයන් අතර ඔබ මොබ දුවන්නට විය. කොපමණ වෙලාවක් මතකයන් අතර සිත දුවන්නට උනිද ඔහුවත් නොදනී
“පුංචි සින්දුවක් දෙකක් එහෙනම් ගායනා කරන්නම් ගමන් කරන මේ සියලුම දෙනාගේ රසවින්දනයට” ඒ බසයෙහි ගී ගයන කෙනෙකි ඔහුගේ හඬට සිත අවදි වන විට බස් රථය ගමන් අරඹා තිබිණි. නැවතත් මතකය අතීතයට දිව යයි, ඇය සමඟ ගිය දුම්රිය ගමනේදී හමු වූ සින්දු කියන අයියා සිහි විය.ඔහුගේ ගායනාවන් ඉතා මිහිරිය ඊටත් වඩා ඇය ඔහු සමීපයට ගුලි වුනු ඒ මතකයන් සුමිහිරිය.
කොන්දොස්තරගේ තට්ටුවත් සමඟ නැවත පියවි සිහි එල්බ ගත් ඔහු ටිකට් පතක් මිලදී ගන්නා අතර ගීත ගයන්නාගේ හඬ ඇසුනි. “කාටත් වරදින එකම වෙලාවක අග හිඟ කම ආදරයට පැරදී”.. නැවත සිත මතකයන් අතර දුවන්නට විය. ඒ සුන්දර මතක තිබුනේ ටික කාලයක් පමණි. ලොව දන්නා සේ ඔවුන් මිතුරන්ම පමණක් විය නමුත් ඔවුන් ඔවුනට ආදරවන්තයන් විය.

ඇගේ සහකරු ඇගේ භාරකරුවන් සොයා දුන්නේය. ඇය වෙනකෙකුට බාර දුන් දිනයේ මිතුරෙකු සේ සුබ පතා ආ සැටි ඔහුට සිහි වුනේ සියුම් වේදනාවක් සමගය බැඳීම් නම් දුකකි ඒ සමගම ඔහුගේ මෙල්ල නොවූ සිත හදාගන්නට සිහිය ඉදිරිපත් විය.
“රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජිවත් වෙන්නකෝ”... බස් රථයේ කැසට් හඬය..
බැඳීම් මාරයි.. ඒ මතකයන්ද මාරයි.. ඔහුටම කියාගත් ඔහු අසුනෙන් නැගිට්ටේ ඊළඟ නැවතුමෙන් බැස යා යුතු නිසාය. බස්රිය ආරණ්‍ය සෙනසුන අසල නතර කෙරිණි. බසයෙන් බැසගත් ඔහු ඒ දෙසට නික්ම ගියේය.
ඔහුගේ ඔෆිසියේ වැඩ අවසන්ය.. නිසල හුදකලාව බලා සිටින්නේය.. අකීකරු සිත එහෙමෙහෙ දුවන්නේය.. එහෙත් සිහිය ඔහු නිවැරදි මඟ ගෙනයනුඇත..