Sunday, September 6, 2015

මතකයන්


වෙලාවකට හිතෙනවා ජිවිතේ මිනිස්සුන්ට ලැබුණු හොඳම තෑග්ග අමතක වීම කියලා.අමතක වෙන එක විභාගයකදී සහ සාමාන්‍ය ජීවිතයේදී ගැටළුවක් විදිහට පෙනුනත් අමතක වීම නොතිබෙන්නට සමහර සිදුවීම් නිසා ඇති වුනු වේදනාවලින් අපි සදා කාලිකවම දුක් විදින්න ඉඩ තිබුණා.
ඉතින් මතකයන් ජිවිතේ පුරාම රැඳිලා තියනවා වෙලාවකට හිතෙනවා මතකයන් වලින් තමයි ජිවිතේ පිරුණේ කියලා.ළමා කාලයේ සුන්දර මතකයන්, පාසල් දිවියේ මතකයන්, සරසවියේ මතකයන් තරුණ කාලේ මතකයන් රැකියාවේ මතකයන් සැඳා සමයේ මතකයන් මේ විදිහට ගතහම නම් මුළු ජීවිතේම පිරිලා තියෙන්නේ මතකයන් වලින්.
මතකයන් තියෙන්නේ පුද්ගලිකව විතරක් නෙමේ සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් යුධමය වශයෙන් සංස්කෘතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් ආදී නොක්යෙකුත් විදිහට මතකයන්ගෙන් පිරිලා.
සමහර මතකයන් සිනහවක් එක්ක මතකයට එනකොට සමහර මතකයන් එන්නේ කඳුලක් ඇහැට උරුම කරගෙනම.සමහර මතකයන් මතක් කරන්න බැරි තරම් අඳුරු වෙනකොට සමහර මතකයන් ඉර හඳටත් වඩා ආලෝකමත් සුවඳ පිරුණු මතක අතර ගඳ ගහන මතකයනුත් නැතුවාම නෙමේ.ඔය හැම මතකයක්ම අඩු වැඩි වශයෙන් අපේ ජිවිත වල රැඳිලා තියනවා.ඒ මතකයන් වල අඩුවැඩි භාවයේ ස්වභාවය අනුව එක් එක් පුද්ගලයන්ගේ සිත් තුල අපේ මතකයනුත් නොමැකි ඉතුරු වෙනවා.
සමහර මතකයන් කාලෙකට පස්සේ මතක් කරලා ඒ මතකයට සම්බන්ද කෙනා එක්කම බෙදා හදා ගත්තම දැනෙන්නෙත් අමුතුම හැඟීමක් ඒ හැඟීමක් මතකයක් විදිහටම ඉතුරු වෙලා යනවා. මතකයන් අතරින් අපි ගෙවන ජීවිතය නිමා කරලා යන්නෙත් අනුන්ගේ හිත්වල අපි ගැන මතකයක් ඉතුරු කරලා.
හ්ම්ම් බලාගෙන යනකොට ගෙවුණු හැම තප්පරයක්ම මතකයනට ඉතුරු වෙනවා ඒත් අපි ඒවාට ලබා දෙන වටිනාකම අනුව සමහර මතක නොමැකි ඉතුරු වෙද්දී සමහර මතක මැකී යනවා.
ආදරණිය මතක අතර පළමු ආදරයේ මතක නම් කාටත් අමතක නැතුව ඇති.ජිවිතයේ මොනවගේ මතක තිබුනත් හොඳට මතක තියාගන්න ගෙවෙන මේ තප්පරයේ ඉදන් එකතු වෙන මතකයන් වලට වටිනාකමක් දෙන්න.
මතකයන් අතර සැරිසරන අතරේ හිතුනු දේ සටහන් කලෙමි.කැමතිනම් අගයක් ලබාදී මතකේ රඳවාගන්න..

සිනහව ගෙනෙනට හැකි
නෙතු අග කඳුලින් තෙමන්නට හැකි
ආදරය මවන්නට හැකි
විරහවෙන් තවන්නට හැකි
දිවි අඳුරු කරන්නට හැකි
අඳුරු දිවි එලි කරන්නට හැකි
සුන්දර අසුන්දර
මතකයන් එකතු කර
අවසන
මතකයක්ම පමණක් ඉතුරු කර යන
මතකය  

සාමලා අමරලා එක්විය
පාසල් මතකයට
ගුටි කෑ පාරවල් මැකුනි
ගුටියේ හේතුව නොමැකෙන මතකයකි
චේ මාර්කස් මාලි
සරසවි මතකයේය
අමතකවූ සමාජවාද
මතක් වන්නට කුප්පි දැමිය යුතුය
නුඹේ මතකය නැත අමතක
ඒත් නුඹ සිටියි අමතක වුනා වගේ
නුඹත් මතකයක් පමණි  
මතකයක් වී සමුගන්න
මතකයන් පමණි අප   

Sunday, August 23, 2015

ඇය නුඹ උඹ (කේන්තිය)

(ජායාරුපය උපුටා ගැනීම www.thespiritscience.net වෙබ් අඩවියෙනි )
ඇසල සඳ ගැන
ඇය කවි කියන විට
හිතයි රාහු වී
එසඳ ගිලින්නට
නුඹව අහිමි කල ප්‍රමාදය
සිහිවන විට
හිතයි කාලය කරකවන්නට
රාවණා වී නුඹ ගෙනෙන්නට
හිතයි විටකදී
ගෙනාවොත් නුඹ දිනිනවා මම
විභීෂණ නැති නිසා පාවා දෙන්නට
සේරමත් හරි
තියන් ආදරය හිත යට
හංගගෙන ඉන්න උඹව දැක්කම
කේන්තියි මට 



ෂැගියාට කවි ලියන්නට හැකි දෝ නොහැකිදෝ නොදනිමි හිතට එන සමහර ගොන් මොංගල් අදහස් ලෙක්චර් අතරතුර දී කොළ වල ලිය වෙයි ඒවා කවි යැයි මට සිතෙයි ඒවා එසේ නොවේ නම් සමාවුව මැනවි. 
කාලෙකට පස්සේ ඔන්න මකුළු දැල් එහෙම කඩලා දැම්ම බ්ලොගියේ තිබ්බ.
 

Saturday, May 30, 2015

ෆෙන්ෂුයි



චීනෙන් ගෙනා රස රහස්
කැටිකොට පොතකට
ලොකු සෙමිනා විකුණනවා
රතු ඇඳගත් මාස්ටර්

කාසි තුන දොරගාව
ලාෆින් පිළිමේ මේසේ උඩ
රුවල් නැව නැගෙනහිර
හරියනවා ධන ලාභ

හුටා... ඒ මැද්දේ ගණ දෙවියෝ
වැඩම කරලනේ චීනෙට
හැබැයි දුන් ස්ත්‍රෝත්‍ර තිබුණේ
සංස්කෘත වලින්

මාස්ටර්ට තියනවලු කනෙක්ෂන්
දෙවියෝ ගණපති සමඟ
දෙවියෝ වෙනවලු සතුටු
ගැයූ විට ස්ත්‍රෝත්‍ර තාලයට

නැත මතක හිටින්නේ මට
දෙවියන්ගේ භාෂාව
මට මොළේ නැහැ නොවෑ
ගණපතිඳු වගේ

එකනෙමේ මාස්ටර්
ආයි සෙට් වුනොත් දෙවියෝ
හරහා ඔබේ කනෙක්ෂන්  
කියන් මේ පණිවිඩය
නුවණ ඇති ගණදෙවිඳු
සමා අවසර
සිංහලත් ඉගෙන ගන්නකො මගේ දෙවියනි
ඔබටලනු නුවණ ඇති ලොකු දෙවියෝ සක්වලේ
නැහැ අමාරු ලෙහෙසිනේ අපේ බස
අමාරුමනම් ටියුෂන් කරනවා ලොකු සර් ඉරිදට

දෙවියෝ ගොඩ දැම්මොතින් සිංහල ඉක්මනට
මාස්ටර්, මට ඩිරෙක්ට් ඉල්ලන්න පුළුවන්නේ
ඕන දේ...


Monday, April 27, 2015

නැත්තෙමත් නෑ...

හිත් යා වුනෙත් නෑ...
නැත්තෙමත් නෑ...

ඇස් කතා කලෙත් නෑ..
නැත්තෙමත් නෑ..

අපි ලන්වුනෙත් නෑ..
නැත්තෙමත් නෑ..

අපි වෙන් වුනෙත් නෑ...
නැත්තෙමත් නෑ..

දුක හිතුනෙමත් නෑ..
නැත්තෙමත් නෑ..

නැවත ඔබ එන එකක් නෑ..
නැත්තෙමත් නෑ..

කවි ලියවුනෙත් නෑ..
නැත්තෙමත් නෑ..

ඔබට මං ආදරේ නෑ..
නැත්තෙමත් නෑ..

ඔබත් මට ආදරේ නෑ..
නැත්තෙමත් නෑ..

Monday, February 2, 2015

රෑ අහස



කාර්යබහුල අපේ ජිවිත ඔහේ ගෙවීගෙන යනවා.තරඟය මැද්දෙන් ආර්ථික සමාජීය වෙනස්කම් මැද්දෙන් අපිට ඕන විදිහට නැතුව හැඩ ගැහුනු රටාවකට මේ ජිවිතේ ගෙවීගෙන යනවා. තරඟයක් තමයි ඒත් ජිවිතේ නිමා වෙන්න වැඩි කාලයක් නෑ ඒ හින්ද පොඩ්ඩක් නවතින්න. අඩුම ගානේ ලඟදි රෑ කට අහස දිහා බැලුවද?? රෑ අහස දැක්කද කියලා නෙමේ මන් ඇහුවේ රෑ අහස බැලුවද? ඒකටවත් වෙලාවක් නැතිද පොඩ්ඩක් නැවතිලා අහස දිහා බලන්න අද රෑටවත්..

කාලෙකින් මාත් අහස දිහා බැලුවා පොඩි කාලේ දැක්ක තරු දැන් කොළඹ අහසේ රෑට පෙන්නේ නෑ.පෝය කිට්ටු නම් තාම ලොකුවට තියන හඳ පේනවා දීප්තිමත්ම තරු කිහිපයක් හැරුනම තරු පෙන්නේ නෑ මොකද පොලවේ හැම තැනම ඊටත් වඩා තරු පායලා.කොළඹ පොලවේ වගේම අහසේ ඉතුරු වෙලා ඉන්නෙත් බලවත් තරු විතරයි. ඉස්සර අහසේ තරු ගණන් කරන්න බැරි වුනාට දැන් නම් තරු ගණන් කරගෙන යන්නත් පුළුවන්.

කාලෙකින් බැලුවා මිහින්තලේ අහස, කොළඹ අහස වගේ නෙමේ තරු හැම තැනම පුංචි තරු විතරක් නෙමේ ඉදල හිටලා කඩන් වැටෙන උල්කාෂ්ම කෑල්ලටත් මේ අහසේ ලොකු ඉඩක් වෙන් කරලා එකම අහස මේ පුංචි රටේ තැන් දෙකකට පෙනෙන විදිහ හරි පුදුමයි.

එකම දේ කෝණ දෙකකින් කොච්චර නම් වෙනසක්ද??

වැඩ නවත්තලා පොඩ්ඩක් එලියට ගිහින් බලන්න ඔයාලගේ පැත්තේ අහස දිහා මිනිත්තුවක්...

බලන තැන විදිහ අනුව අහස වෙනස් වෙනවා නම් බලන තැන විදිහ අනුව අනිත් දේවල් වෙනස් වෙන එක පුදුමයක්ද?? අහස කතා කරවී.. වෙනස තේරෙන්න තවත් කොහේදී හරි වෙලාවක් තිබ්බොත් අහස බලන්න..

කාලෙකට පස්සේ අහස බලලා බ්‍රෂ් ගිය ජනාදර හිතාදර ෂැගියා